Saturday, September 29, 2012

ඇසුර...







‘හෙලෝ…’ හැමදාම වගේම එදත් උදේ දුරකතනය නාද උනේ ඇමතුම බලාපොරොත්තුවෙන් හිටිය මට, මටත් නොදැනිම මගේ හිතට හිනාවක් එක්කරගෙන. උදේ 9ත් 10ත් අතර හැමදාම වගේ මේ එන ඇමතුමට කස්ටමයිස් කරොලා ලස්සන හින්දි මියුසික් එකක් දාලා තිබුනේ. ඇහැරිලා හිටියත් නැගිටින්න පන මදි ගතියක් ඇගට දැනුන නිසා ඇදේම හිටියේ ඇමතුමක් බලාපොරොත්තුවෙන්… මම දවස් දෙක තුනකට වතාවත් කරන සෙල්ලම අදත් කරා. ඔනෙකමින් එකපාරක් රින්ග් වෙන්න දීලා දෙවෙනි පාර ෆෝන් එක ඉස්සුවෙ බොරුවට මවාගත්ත නිදිමතකුත් එක්ක.. 

‘අපෝ නිදිමතයා, දැන්ද නැගිටින්නෙ? ඊයෙ වෙලපහ නේද නිදාගත්තේ?’ ලස්සන රින්ග් ටොන් එක ඇතුලින් ආපු ඊටත් වඩා ලස්සන කටහඩට ඒ සුරතල් බැනුම් එක් වෙද්දි මම විදින සතුට මගේ යටි පතුල් වලටත් දැනුනා වගේ.

‘ඔව් ඔව්.. ඔයා උදෙන්ම නැගිටලා වගේ කතාව’ එහෙම කිව්වෙ, එයත් ඇදෙන් බහින්න කලින් මට කතා කරන බව දැනගෙනයි.

‘මම කිරි බොනවා.’

මේ විදිහට පටන්ගන්න කතාව අනිවාර්යෙන්ම පැය බාගෙකට අඩු නම් වෙන්නෙ බොහොම කලතුරකින්. කිසිම තේරුමක් නැති දේවල් කතා කරත් ඒ කතා කරපු දේවල් කොච්චර නම් රසවත් ද කියලා තේරෙන්නෙ ඒ රසය නැතිවුන දවස්වල හොයාගෙන ගිය කිසිම රසයක් විදගැනීමට තරම්වත් මට තිබුන නොහැකියාවයි. විබාගෙ දවස්වල උනත් එයත් එක්ක කතා කරේ ඒක මට හයියක් මිස බාධාවක් නොවෙන නිසා. O/L කරල නිවාඩුවත් එක්ක තිබ්බ කම්මැලි කම නිසා මේ විදිහට කෙරුන කතා බහ උදේට විතරක් සීමා උනේ නැ. හැබැයි අපි අතරේ තිබුනේ සාමාන්ය ආදරවන්තයින්ගෙ හැසිරීම නෙමෙයි, අමුතුම බැදීමක්. 

‘අහන්ද ඉන්නෙ?’ එහෙම අහද්දි මගෙ අනිත් අත කම්මුලේ තිබුන විත්තිය තෙරුනේ පස්සෙ.

‘ඔව්, ඔව්.. මගෙ අත කම්මුලේ තිබුනේ’ 

එහෙම කිව්වෙ ඊයෙ වුන සිද්දියක්, තවත් රස විදීමෙ අරමුනෙන් වෙන්න ඇති. එයත් එක්ක කතා කරද්දි මගෙ වචන මටම අවනත නොවී හිතත් එක්ක පැනලා යන හැටි!
එත් එක්කම එහා පැත්තෙ ඉදලා ඇහුන නොහැගවිච්ච හිනාව මට මවාගන්න පුලුවන් උනා. මම විහිලුවට උනත් බලාපොරොත්තුවෙන් එයාගෙන් ඉල්ලපු දේ දෙන්න එයා මගේ කම්මුල දිහාට ඇල වෙද්දි ක්ෂ‍ණයකට මගේ සංවේදනයන් ඔක්කොම ඒ කම්මුල දිහාවට අවධානය දෙන්න ඇති. මගේ කම්මුල් දෙකම රතු වුනායින් පස්සෙ ‘කෝ මට?’ කියලා අහලා මමත් එයා දුන් විදියටම කිස් එක දීල ඉවරවෙලත් හිටියෙ හොද සිහියෙන් නම් නෙමෙයි.

******************

‘මචං උඹෙ අර ලව් එක නැගලා යනවද දැන්?’ කයියක් දාන් ඉන්න අතරෙ පෙට්ටියා කතාව ඇදලා ගත්තේ කොල්ලෙක් විදියට මගේ ප්‍රගතිය ගැන මැනලා බලන්නද නැතනම් හොදම යාලුවෙක් විදියට ඇතුලාන්තය අවුස්සන්නද කියලා උවත් දන්නේ නැතුව ඇති. නැත්නම් මුහුද අයිනක හවස් වරුවක සිගරට් එකේ සැර එතකොට පුරුදු නැති නිසාත්, වෙන කතා කරන්න හරි දෙයක් නැතුවට වෙන්න ඇති.

‘පිස්සුද යකෝ, මොන ලව්ද? ටෝක විතරයි බන්’

‘පල පල… උඹයි උඹේ ටෝකයි. මෙහෙමත් ටෝක් කරන සිරිතක් තියෙනවද බන්.. ඔකට කියන්නේ නොහැකියාව කියලා’

‘එහෙම සීන් නම් නෑ කොල්ලො ලොවෙත්. මාරම ස්වීට් චරිතයක් බන් එයා. එකිත් එක්ක කතා කරන එක ඇති. ඊට වැඩිය දෙයක් හිතේ නැ බන්.’

‘අඩෝ පෙට්ටියා, මූව අත ඇරහන්.. ඔය ටෝපික් එක මුත් එක්ක කතා කරලා වැඩක් නැ.. ඔය ස්වීට් චරිතය ස්පයිසි උන දාට, උඹ දවසක මෝඩයෙක් උන වෙලාවට අපි කියපුවා මතක් කරගනින් හරිද පුතේ!’ මලින් මලට පියාඹන ප්‍රතිපත්තියක් අනුගමනය කරපු ඇන්ටා එහෙම කියත්දි මට හිතුනෙ සංස්කෘතියක සම්මත තත්ත්ව පිලිබදව මුන් දෙන්නගෙ අවබෝධය කොච්චරක්ද කියලා.

‘ඇයි බන්, ආශ්‍රයක් කරන්න බැරිද බන් බුදු ෆිට් එකේ කෙල්ලෙක් එක්ක?’ 
එතකොට මම සම්මත සමාජයක් සම්මත තත්ත්වයන්ගෙන් කොච්චර ඈතයිද කියලා මනින අවදියේ හිටි කෙනෙක්. රැවටිලා හිටිය තවත් එක්කෙනෙක් විතරක් කියලා දැනගෙන හිටියෙ නැ. කොටින්ම මම ඇයට අබ්බැහි වෙලා හිටියෙ.

‘තදට ආශ්‍රය කරපන් මචං. ආශ්‍රය දිගටම තියෙන එකක් නම්.. බලහන් උඹව දවසක නන්නා වෙන්නෙ නැද්ද කියලා ඔහොම ආශ්‍රය කරන්න ගිහිල්ලා’
 ඒ වචන උගෙන් පිට උනේ කියන්නම් වාලා කියන්නෙ නැතුව තමන් ජීවිතයෙන් ඉගෙනගත්තු, තමන්ට අවබෝධයක් තියෙන දෙවල් ටිකක් විත්තිය මට තෙරුනේ ගොඩක් කාලෙකට පස්සේ. ඇන්ටට එහෙම කියන්න තරම් අයිතියක් තිබුනා. පුද්ගලයෙක් වශයෙන් යම් යම් කරුණු ඇය පිළිබදව දැන සිටි නිසයි.

******************

ඔහොම කල් ගතවී ගෙන යද්දි, මාත් එක්ක එයාට තියෙන ඇසුර ටිකෙන් ටික අඩු වෙන්න පටන්ගත්තා. මම නැවත ඒ ඇසුර අළුත් කරන්න උත්සහ ගත්තෙත් නැහැ. ඒකට හේතුව උනේ, මගේ ගාව ඒ දවස්වල තිබිච්ච ටිකක් ආඩම්බර කියලා කියන්න පුලුවන් ප්‍රතිපත්තියක්. කාටහරි කෙනෙක්ට මාව එපා නම් මට එයාව දහ පාරක් එපා කියන එක. උදේ වරුවෙ ගෙවාගන්න මට මාත් එක්කලා පුදුම සටනක් දෙන්න උනා. රින්ග් ටොන් එකේ තාලය අමතක වෙන වෙලාවට නිකන් ප්ලේ කලත්, ප්ලේ උනේ නිකන්ම නිකන් වාදනයක් විතරයි. ගායිකාව සහ හිත හිනස්සන රසය අතුරුදහන්. රසය වෙනුවට දැනෙන වේදනාව ප්‍රතිස්ථාපනයට මොනවා කරන්නද කියලා හිතන්නටත් කලියෙන් වේදනා නාශක මා සොයාගෙන ඇවිත්. ඒත් එකෙන් උනෙ වේදනාව වැඩි වෙන එක මිස අඩු නොවන වග තෙරෙන්න වැඩිය කල් ගියෙ නැති එක මගේ වාසනාව. වලේ වැටුන මිනිහා වලෙන් ගොඩ එන්න ඔනෙ වලේ කටින්ම වගෙ, වේදනාවත් එක්ක සටන් කරන්න ටිකෙන් ටික මගේ හිත ශක්තිමත් උනා.
අවසන්.


No comments:

Post a Comment